ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය (ආකාස)
සංශෝධන: 2001.04.02, 2024.12.21 මුල් පිටපත බාගන්න (PDF)
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ ව්යවස්ථා සංග්රහය
2024.12.21 දින මහා සභාව තීරණය කළ සංශෝධන සහිත ව්යවස්ථාව සහ සාමාජික සංවිධාන සඳහා වන අතුරු ව්යවස්ථාව. පළමු ව්යවස්ථාව: 1995.12.30සංශෝධන: 2001.04.02, 2024.12.21 මුල් පිටපත බාගන්න (PDF)
1. සංවිධානයේ නම
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය2. ලිපිනය
“ආකාස”, පහලගම පාර, කොන්ගොල්ලෑව, තලාව.3. බල ප්රදේශය
ශ්රී ලංකාවේ භූමි ප්රදේශය4. ව්යවස්ථා නාමය
මෙම ව්යවස්ථාව “ශ්රී ලංකා ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ ව්යවස්ථා සංග්රහය” නමින් හැඳින්වේ. මින් මතු මෙම ව්යවස්ථා සංග්රහය “ව්යවස්ථාව” නමින් ව්යවස්ථා සංග්රහයේ සඳහන් වනු ඇත. එමෙන්ම මෙම සංගමයේ කෙටි නම “ආකාස” යනුවෙන් හැඳින්වෙනු ඇත.5. ව්යවස්ථාවේ වලංගු කාල සීමාව
වර්ෂ 2022 ඔක්තෝබර් මස 13 වන දින තලාව ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ මූලස්ථානයේ පවත්වන ලද මෙම සංගමයේ මහා සභා රැස්වීමේදී, එවකට භාවිතයේ පැවති 2001.04.02 දින සම්මත කරගන්නා ලද ව්යවස්ථා සංග්රහය නව යෝජනා ඇතුළත් කිරීම සඳහා නැවත වරක් සංශෝධනය කිරීමට මහා සභාව තීරණය කළේය. එම තීරණයට අනුව, මෙම ව්යවස්ථාව එම සංශෝධනයන් සමඟ ඉදිරියට ක්රියාත්මක වන බවත්, 2001 වර්ෂයේ සම්මත කරගන්නා ලද ව්යවස්ථාවේ යම් යම් කරුණු වෙනස් වන බවත්, නව කරුණු ඇතුළත් වන බවත් 2024.12.21 වන දින මහා සභාව විසින් තීරණය කරන ලදී. මින් ඉදිරියට මෙම ව්යවස්ථාව ඒ අනුව ක්රියාත්මක වේ.වර්ෂ 2001 අප්රේල් මස 02 වන දින තලාව ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ මූලස්ථානයේදී පවත්වන ලද මෙම සංගමයේ මහා සභා රැස්වීමේදී, එවකට භාවිතයේ පැවති 1995.12.30 වන දින සම්මත කර ගන්නා ලද ව්යවස්ථා සංග්රහය නව යෝජනාවන්ට නොගැළපෙන බැවින් එය අවලංගු හා බල රහිත බවට පත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව 1995.12.30 වන දින සම්මත වූ ව්යවස්ථාව 2001 අප්රේල් මස 02 වන දින දක්වා වලංගුව පැවති බවටත්, 2001.04.02 වන දින සිට මෙම ව්යවස්ථාව, සංගමයේ මහා සභා රැස්වීමකදී කරනු ලබන සංශෝධනයන්ට යටත්ව හෝ එසේ නොමැති නම් අඛණ්ඩව බල සහිතව ක්රියාත්මක වන බවටත් තීරණය කරන ලදී.
මෙම ව්යවස්ථා සංග්රහය අවලංගු කළ හැක්කේ හෝ සංශෝධනය කළ හැක්කේ සංගමයේ මහා සභා රැස්වීමකදී, සංගමයේ සාමාජිකත්වයේ පොදු එකඟතාවය මත හෝ මුළු සාමාජික සංඛ්යාවෙන් 50%කට වැඩි දෙනෙකුගේ කැමැත්ත මත පමණි.
මෙම ව්යවස්ථාවේ අඩංගු සියලු විධිවිධාන ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සියලුම සාමාජිකාවන්, සංගමයේ සියලු නිලධාරීන්, සේවකයින්, පාර්ශ්වකරුවන්, මැදිහත්කරුවන්, සම්බන්ධතා ඇති ආයතන හා පුද්ගලයන් සහ නියෝජිතයන් කෙරෙහි බල පැවැත්වේ. මෙම සංගමයේ සාමාජිකත්වය දරන දිස්ත්රික් සංගම්, ප්රාදේශීය සංවිධාන, ග්රාමීය සමිති හා කුඩා කණ්ඩායම්වලට ගැළපෙන පරිදි අතුරු ව්යවස්ථා සම්මත කර ගත හැකි අතර, කිසිදු අතුරු ව්යවස්ථාවක කිසිදු ප්රතිපාදනයක් මගින් මෙම ව්යවස්ථාවේ කිසියම් ප්රතිපාදනයක් උල්ලංඝනය නොවිය යුතුය.
6. දර්ශනය
සියලු දෙනාටම සමාන හිමිකම් ඇති සමාජයක්.7. පරමාර්ථය
ශ්රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්, විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන්, සමාජ, ආර්ථික, දේශපාලන, අධ්යාපනික හා සංස්කෘතික වශයෙන් සමාජයේ පීඩාවන්ට පත් වීමෙන් වැළැක්වීම සඳහාත්, ඔවුන්ටත් සමාජයේ සම අවස්ථාවන් දිනා ගැනීම සඳහාත්, ආබාධ සහිත පුද්ගලයන් ද විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා රටේ සාමාන්ය ජනතාව ද ආබාධ සහිත පුද්ගලයන් ගැන දැනුවත් වීම, තේරුම් ගැනීම, ඔවුන් ගැන සැලකිලිමත් වීම හා ඔවුන්ට නිදහස් ජීවිතයකට මඟ පෙන්වීම.8. අරමුණු
- ආබාධ සහිත කාන්තාවන් බලපෑම් කණ්ඩායමක් ලෙස සංවිධානය වීම.
- ආබාධ සහිත කාන්තාවන්ගේ ආකල්ප වෙනස් කිරීම, ඔවුන් දිරිමත් කිරීම, පුනරුත්ථාපනය කිරීම සහ ආබාධ සහිත වීම අවම කිරීම සඳහා ක්රියාමාර්ග ගැනීම.
- ආබාධ සහිත කාන්තාවන්ගේ දක්ෂතා, කුසලතා හා නායකත්වය සංවර්ධනය කිරීම.
- ආබාධ සහිත කාන්තාවන් පිළිබඳව ඔවුන්ගේ පවුල් හා සමාජය දරන ආකල්ප වෙනස් කිරීම.
- ආබාධ සහිත කාන්තාවන්ට ස්වාධීන, නිවහල් දිවි පෙවෙතක් ගත කිරීම සඳහා හිමි විය යුතු වරප්රසාද හා අයිතිවාසිකම් ලබා ගැනීමට අවශ්ය පසුබිම සකස් කිරීම.
9. මෙහෙවර
ශ්රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට, විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන්ට, සමාජ, ආර්ථික, දේශපාලන, අධ්යාපනික හා සංස්කෘතික වශයෙන් ඇතිවන පීඩාවන් වළක්වා ගනිමින් ද, ඔවුන්ගේ හැකියාවන් හා කුසලතා වර්ධනය කර ගනිමින් ද, සමාන අයිතීන් ලබා ගනිමින් ද, නිදහස්ව හා ස්වාධීනව ජීවත් වීම සඳහා අවකාශ සලසා ගැනීමට සහාය වීම.10. ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය පාලනය කරන මූලධර්ම
- ආබාධ සහිත කාන්තාවන්ගේ ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම හා ඒ මත රඳා සිටීම.
- මානව ගරුත්වය හා සමාජ සාධාරණත්වය.
- සංවිධානයේ සියලුම ක්රියාකාරකම් ආබාධ සහිත කාන්තාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සජීවීකරණය හා බලගැන්වීම කෙරෙහි යොමු විය යුතු වීම.
- ආබාධ සහිත කාන්තාවන් සම්බන්ධයෙන් තීරණ ගැනීම, තීරණ ක්රියාත්මක කිරීම හා ක්රියාමාර්ග නිවැරදි කර ගැනීම ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සාමාජිකාවන් විසින් පමණක් සිදු කිරීම.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සියලු කටයුතු දර්ශනය, පරමාර්ථය හා අරමුණු ළඟා කර ගැනීම සඳහා පමණක් ක්රියාත්මක කළ යුතු වීම.
11. සාමාජිකත්වය
1995 දෙසැම්බර් මස 30 වන දින වන විට ආබාධිත කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ සංගමයේ සාමාජිකත්වය දැරූ සියලුම සාමාජිකාවන්ට ද, 1995.12.30 වන දින රැස් වූ නව සාමාජිකාවන් හා ආබාධ සහිත කාන්තාවන්ට ද මෙම සංගමයේ සාමාජිකත්වය හිමි විය යුතුය.නව සාමාජිකාවන් මෙම සංගමයට බැඳීමේදී ඉල්ලුම් පත්රයක් විධායක මණ්ඩලයේ ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. විධායක මණ්ඩලය විසින් කරනු ලබන කරුණු සොයා බැලීමකින් අනතුරුව සාමාජිකත්වයට බැඳීමට ඉඩ දුනහොත්, මහා සභාව විසින් තීරණය කරගන්නා ලද මුදලක් ගෙවා හෝ, එසේ ගෙවීමට හැකියාවක් නොමැති අය මහා සභාවේ තීරණය මත නොගෙවා හෝ, සාමාජිකාවක් ලෙස ලියාපදිංචි වීමට හිමිකම ලැබේ.
12. සාමාජිකත්වය සඳහා සුදුසුකම්
- ශ්රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- ආබාධ සහිත කාන්තාවක් වීම.
- සාමාජිකත්වය නිත්ය සාමාජිකත්වය හා ප්රතිලාභී සාමාජිකත්වය ලෙස පිරිනැමේ.
- ප්රතිලාභී සාමාජිකයන්ට සංවිධානයේ ප්රතිලාභ අත්පත් කර ගැනීමට හැකියාව ඇත.
- මහා සභාවේ හෝ විධායක සභාවේ තීරණ ගැනීම හා ක්රියාත්මක කිරීම සඳහා සහභාගී විය හැකි, ආබාධ සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන්ට ද, එසේ තීරණ ගැනීමට හා ක්රියාත්මක කිරීමට නොහැකි ආබාධ සහිත කාන්තාවන්ගේ කාන්තා භාරකරුවෙකුට ද, ආබාධ සහිත පිරිමි පුද්ගලයන්ට ද ප්රතිලාභී සාමාජිකත්වය හිමි වේ.
- නව සංශෝධනයන්ට අනුව, ආබාධිතතාවය පිළිබඳ අවබෝධයක් ඇති සහ එම ක්ෂේත්රයේ කටයුතු කර ඇති, ආබාධ නොමැති කාන්තාවන් සීමිත ප්රමාණයකට (10 දෙනෙකුට) සාමාජිකත්වය හිමි වේ.
- ඔවුන්ට සිය සුදුසුකම් අනුව විධායක මණ්ඩලයට ද පත් විය හැක.
13. සාමාජික වගකීම
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ ව්යවස්ථාව අනුව කටයුතු කිරීම හා එහි අරමුණු ළඟා කර ගැනීම සඳහා කටයුතු කිරීම.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සහ ප්රතිලාභී සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීම.
14. සාමාජික වරප්රසාද
- ඍජු සාමාජිකත්වය හිමි කාන්තාවකට සංගමයේ ඕනෑම තනතුරකට අයදුම් කිරීමට බලය ඇත.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය විසින් ආබාධ සහිත කාන්තාවන් උදෙසා ලබා දෙන යම් පොදු ප්රතිලාභයක් වේ නම්, ඍජු සාමාජිකාවන්ට ඒ සඳහා අයදුම් කළ හැකි අතර විධායක සභාවේ තීරණය පරිදි එම ප්රතිලාභ හිමි කර ගත හැකිය.
- ප්රතිලාභී සාමාජිකයෙකුට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ ප්රතිලාභ ලැබීමේ හිමිකම ලැබේ.
15. සාමාජික මුදල්
- සාමාජික මුදල් මහා සභාව තීරණය කරගත් පරිදි ගෙවිය යුතුය. ඒ අනුව සෑම මහා සභාවකදීම සාමාජික මුදල් පිළිබඳ සංශෝධන සිදු කළ හැකිය.
16. සාමාජිකත්වය අහිමි වීම
- කිසියම් සාමාජිකාවක් සංගමයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා කිසිදු අයුරකින් දායක නොවන බවට විධායක මණ්ඩලය සෑහීමකට පත් වුවහොත්, ඇයගේ සාමාජිකත්වය අහෝසි කිරීමට විධායක මණ්ඩලයට බලය තිබිය යුතුය. සාමාජිකත්වය අහෝසි කළ බව, එසේ අහෝසි කිරීමට තීරණය ගන්නා ලද දින සිට දින 30ක් ඇතුළත සාමාජිකත්වය අහිමි වූ අය වෙත දැනුම් දීම විධායක මණ්ඩලයේ ගරු ලේකම්වරියගේ වගකීම වේ.
- තම සාමාජිකත්වය අහෝසි කළ බවට විධායක මණ්ඩලයේ දැනුම් දීම ලැබුණු කාන්තාවකට, දින 60ක් ඇතුළත, තම සාමාජිකත්වය අහෝසි කිරීමට එරෙහිව සංගමයේ බුද්ධි මණ්ඩලයේ සාමාජිකයෙකු වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට හිමිකම තිබිය යුතුය. අවශ්ය කරුණු විමසා බැලීමෙන් අනතුරුව, අභියාචනාකරු නැවත සංගමයේ සාමාජිකත්වයට බඳවා ගන්නා ලෙස නිර්දේශ කිරීමට බුද්ධි මණ්ඩලයට හිමිකම ඇත. නමුත් බුද්ධි මණ්ඩලයේ නිර්දේශය ක්රියාත්මක කිරීම හෝ නොකිරීම විධායක මණ්ඩලයේ වගකීම විය යුතුය.
- සංගමයෙන් පිටතදී සංගමය විවේචනයට ලක් කිරීම.
- සංගමයේ නීති රීති උල්ලංඝනය කිරීම.
17. විධායක මණ්ඩලය
වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන මහා සභා රැස්වීමේදී විධායක මණ්ඩලය තෝරා ගත යුතුය. විධායක මණ්ඩලයේ සංයුතිය පහත දැක්වේ.- ගරු සභාපතිනිය
- ගරු උප සභාපතිනිය
- ගරු ලේකම්තුමිය
- ගරු උප ලේකම්තුමිය
- ගරු භාණ්ඩාගාරිකතුමිය
- ගරු උප භාණ්ඩාගාරිකතුමිය
- පස් දෙනෙකුගෙන් සමන්විත කාරක සභාව
18. විධායක සභාවේ පොදු කරුණු
- විධායක මණ්ඩලය විසින් මහා සභාව වෙනුවෙන් සියලු බලතල ක්රියාත්මක කරනු ලබන අතර සියලු වගකීම් දරනු ලැබේ. විධායක මණ්ඩලයේ සාමාජිකාවන් සංගමයේ නිල ලත් පාලකවරියන් ලෙස කටයුතු කළ යුතුය.
- විධායක මණ්ඩලයේ කිසිදු සාමාජිකාවකට මෙම ව්යවස්ථාවේ අඩංගු විධිවිධාන කිසිවක් උල්ලංඝනය වන පරිදි කටයුතු කළ නොහැකිය.
- නොවැළැක්විය හැකි හේතුවක් නොවේ නම්, අවම වශයෙන් මාස තුනකට වරක්වත් විධායක මණ්ඩලය රැස්විය යුතුය.
- විධායක මණ්ඩලයේ රැස්වීම් කැඳවීම, වාර්තා තබා ගැනීම හා ඒ සම්බන්ධ සියලු ලේඛන පවත්වා ගැනීමේ බලතල හා වගකීම සංගමයේ ගරු ලේකම්වරියට පැවරේ.
- සංගමයේ සියලු මූල්ය කටයුතු, මුදල් ගනුදෙනු, බැංකු තැන්පතු හා ජංගම ගිණුම් පිළිබඳ වගකීම් සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරිය විසින් දැරිය යුතුය. මූල්ය කටයුතුවලට සම්බන්ධ පොත්පත්, ලෙජර්, ලේඛන, ලිපිගොනු හා වාර්තා නිවැරදිව, අංග සම්පූර්ණව හා යාවත්කාලීනව පවත්වා ගෙන යාමේ වගකීම ද, විධායක මණ්ඩලයට, මහා සංගමයට හා අදාළ වෙනත් ආයතනවලට අවශ්ය මූල්ය වාර්තා හා තොරතුරු සැපයීමේ වගකීම ද, අභ්යන්තර විගණන කටයුතු පවත්වා ගැනීම ද, මුදල් වර්ෂය ඉකුත් වී දින 60ක් ඇතුළත වාර්ෂික විගණනය සම්පූර්ණ කර වාර්තා කිරීමේ වගකීම ද සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරියට පැවරේ. මූල්ය පුරෝකථනය, මූල්ය සැලසුම් සකස් කිරීම, ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛන සකස් කිරීම, ඒවා ක්රියාත්මක කිරීම හා ප්රගති පාලනය නොපිරිහෙලා ඉටු කිරීම සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරියගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ සිදු විය යුතුය.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ උපදේශක තනතුරට පත් කරන්නා නම් කිරීම විධායක මණ්ඩලය සතුය. විධායක මණ්ඩලය විසින් නම් කරන ලද උපදේශකවරයා සඳහා මහා සභාවේදී අනුමැතිය ලබා ගත යුතුය.
- සංගමයේ මුදල් සම්බන්ධ සියලු තීරණ ගැනීම විධායක සභාව සතුය. එම තීරණ ක්රියාත්මක කිරීම සඳහා විධායක අධ්යක්ෂකවරියට බලය පැවරීමට විධායක සභාවට බලය ඇත.
- විධායක මණ්ඩලයේ ගණපූරණය 1/2ක් විය යුතුය.
- රැස්වීම් වාර තුනකට සහභාගී නොවුවහොත් තනතුර අහෝසි වනු ඇත.
- විධායක මණ්ඩලයේ රැස්වීම්වලදී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් විධායක මණ්ඩල සාමාජිකාවන් සියලු දෙනාම සාමූහිකව වග කිව යුතුය. ව්යවස්ථාව සම්මත කර ගන්නා අවස්ථාවේ සිටි විධායක මණ්ඩලයේ සාමාජිකාවන් හැර, ඉදිරියට විධායක මණ්ඩලයේ සාමාජිකාවන් තෝරා ගැනීමේදී සාමාජිකත්වය ලබා අවම වශයෙන් වසර දෙකක පළපුරුද්දක් අවශ්ය වේ. අවශ්යතාවයන් අනුව ඉදිරියේදී ආබාධ නොමැති කාන්තාවන් තිදෙනෙකුට ද ඉහත කී සභිකාවන්ට අමතරව විධායක මණ්ඩලයට ඇතුළත් විය හැක. එම දෙදෙනා නම් කිරීම විධායක මණ්ඩලයේ එකඟතාවය අනුව සිදු කළ හැක.
- සංගමයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා කාර්යාලයක් පවත්වා ගත යුතු අතර, එම කාර්යාලයේ පාලනය ගරු සභාපතිනිය ප්රමුඛ විධායක මණ්ඩලය වෙත පැවරේ. එම කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්ය සේවක සේවිකාවන් බඳවා ගැනීමට, එක් එක් තනතුර වෙනුවෙන් සේවා විස්තරයක් සකස් කර එය පැවරීමට, සේවා කොන්දේසි පැනවීමට, දීමනා හා වැටුප් තීරණය කිරීමට විධායක මණ්ඩලයට බලය පැවරේ. එම තීරණ ක්රියාත්මක කිරීම සඳහා විධායක අධ්යක්ෂකවරියට බලය පැවරීමට විධායක සභාවට බලය ඇත.
- සංගමය විසින් පවත්වාගෙන යනු ලබන ආයතනයේ සේවය සඳහා සේවක සේවිකාවන් බඳවා ගත යුත්තේ කොන්ත්රාත් පදනම මතය. අවශ්යතාවය අනුව විධායක සභිකාවකට හෝ සාමාජිකාවකට ද කාර්යාල කටයුතු සඳහා තනතුරු දැරිය හැකිය. එම සේවා කාලය තුළ සේවයට අදාළ කොන්දේසිවලට ඇයට බලපෑම් කළ නොහැකිය. එමෙන්ම ඇය සංගමයේ නිලතල සමඟ සසඳමින් කටයුතු නොකළ යුතු අතර, එම සේවා කාලය තුළදී විධායක අධ්යක්ෂකවරියගේ විධානයන්ට යටත් විය යුතුය.
- සංගමයේ පොදු පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහාත් ක්රියාත්මක කිරීම සඳහාත් විධායක අධ්යක්ෂකවරියක් බඳවා ගැනීමට විධායක මණ්ඩලයට බලය පැවරේ. බඳවා ගනු ලබන විධායක අධ්යක්ෂකවරිය මාසිකව සේවය කළ යුතු දින ගණන හා කාල සීමාවන් තීරණය කිරීමට ද විධායක මණ්ඩලයට බලය පැවරේ. දින 30කට පෙර දැනුම් දීමක් මගින් විධායක අධ්යක්ෂක තනතුර දරන්නාගේ සේවය අහෝසි කිරීමටත්, ඒ අනුව දීමනාවක් හෝ වැටුපක් නොගෙවා සිටීමටත් විධායක මණ්ඩලයට බලය පැවරේ. විධායක අධ්යක්ෂකවරියගේ කිසියම් සේවා වකවානුවක සේවය අගය කිරීමක් වශයෙන් කිසියම් පාරිතෝෂික මුදලක් ගෙවීමට, සේවයෙන් ඉවත් කිරීම බාධාවක් නොවිය යුතුය.
- සෑම දෙවසරකට වරක් පැවැත්වෙන මහා සභා රැස්වීමේ නිලවරණයේදී විධායක මණ්ඩලයේ සියලු විධායක සභිකාවන් ඉල්ලා අස් විය යුතු අතර, එදින නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට මහා සභාවට බලය පැවරේ.
- සංගමය වෙනුවෙන් රාජ්ය හෝ වාණිජ බැංකුවල ගිණුම් පවත්වා ගැනීමට විධායක මණ්ඩලයට හැකිය. එම ගිණුම් මෙහෙයවීමේ බලය ගරු සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික තනතුරු දරන්නන් වෙත පැවරේ. චෙක්පත් නිකුත් කිරීමේදී පළමු අත්සන ගරු සභාපතිගේ ද, දෙවන අත්සන ගරු භාණ්ඩාගාරිකගේ හෝ ගරු ලේකම්ගේ ද විය යුතුය.
- සංගමය සඳහා දේශීය හා විදේශීය ආයතනවලින් ලැබෙන ප්රදාන භාර ගැනීමට, ඒවා වියදම් කරන ආකාරය තීරණය කිරීමට, සංගමය වෙනුවෙන් ගිවිසුම්වලට එළඹීමට හා දේපළ අත්පත් කර භාර ගැනීමට විධායක සභාවට බලය පැවරේ.
- සංගමයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා දිස්ත්රික් මට්ටමේ සමායෝජකවරියක් සහ සංවිධායකවරියක් ද, ප්රාදේශීය හා ග්රාමීය මට්ටමේ මැදිහත්කරුවන් ද, දිස්ත්රික් මට්ටමේ සම්පත්දායකයන් ද තෝරාගෙන සේවයේ අනුයුක්ත කිරීමටත්, ඔවුන් සංගමයේ කටයුතු සඳහා දරනු ලබන සාධාරණ වියදම් හා දීමනා ගෙවීමටත් විධායක සභාවට හැකිය.
- සංගමය වෙනුවෙන් බාහිර ආයතනවලින් හා බැංකුවලින් ණය මුදල් හා අයිරා පහසුකම් ලබා ගැනීමට විධායක සභාවට බලය පැවරේ. සංගමය හා සංගමයට සම්බන්ධ දිස්ත්රික්, ප්රාදේශීය සහ ග්රාමීය සංවිධාන වෙනුවෙන් ආපදා රක්ෂණ අරමුදල් සහ වෙනත් අරමුදල් පිහිටුවීමටත් ඒවා පවත්වාගෙන යාමටත් විධායක සභාවට හැකිය.
- ගරු සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරික පිළිගත හැකි හේතුවක් නොමැතිව නොකඩවා විධායක සභා රැස්වීම් වාර තුනකට සහභාගී වීමට අසමත් වුවහොත්, හෝ නොදන්වා රැස්වීම් වාර දෙකකට සහභාගී නොවුවහොත්, අදාළ වන පරිදි උප සභාපති, උප ලේකම් හෝ උප භාණ්ඩාගාරික එම පුරප්පාඩු තනතුරු සඳහා පත් කර ගැනීමට විධායක සභාවට බලය ලැබේ. නැවත මහා සභා රැස්වීමක් පවත්වා නිල මණ්ඩලයක් පත් කර ගන්නා තෙක් එම පත්වීම වලංගු හා බල සහිත විය යුතුය. එසේ පත් කර ගන්නා තනතුරු දරන්නන්ට බැංකු ගිණුම්වලට අත්සන් කිරීමේ බලය ඇත.
19. ගරු සභාපතිනියගේ වගකීම්
- විධායක මණ්ඩලයේ සහ මහා සභා රැස්වීම්වල මූලාසනය දැරීම, එම රැස්වීම් මෙහෙයවීම හා රැස්වීම් තීරණ ක්රියාත්මක කිරීම. ආකාස ආයතනය පවත්වාගෙන යාම සඳහා මහා සභාව ගන්නා තීරණ ක්රියාත්මක කිරීමේ වගකීම සංගමයේ ගරු සභාපතිනිය වෙත පැවරේ.
20. ගරු ලේකම්වරියගේ වගකීම්
- විධායක මණ්ඩලයේ රැස්වීම් කැඳවීම, වාර්තා තබා ගැනීම හා ඒ සම්බන්ධ සියලු ලේඛන පවත්වා ගැනීමේ බලතල හා වගකීම සංගමයේ ගරු ලේකම්වරියට පැවරේ.
- මහා සභා රැස්වීම් කැඳවීම ගරු සභාපතිනියගේ උපදෙස් මත ගරු ලේකම්වරිය විසින් කළ යුතුය. සියලු මහා සභා රැස්වීම්වල වාර්තා තබා ගැනීම, වාර්තා බෙදා හැරීම හා ප්රසිද්ධ කිරීම ගරු ලේකම්වරිය විසින් කළ යුතුය.
20. ගරු භාණ්ඩාගාරිකවරියගේ වගකීම්
- සංගමයේ සියලු මූල්ය කටයුතු, මුදල් ගනුදෙනු, බැංකු තැන්පතු හා ජංගම ගිණුම් පිළිබඳ වගකීම් සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරිය විසින් දැරිය යුතුය. මූල්ය කටයුතු පිළිබඳ පොත්පත්, ලෙජර්, ලේඛන, ලිපිගොනු හා වාර්තා නිවැරදිව, අංග සම්පූර්ණව හා යාවත්කාලීනව පවත්වා ගැනීමේ වගකීම ද, විධායක මණ්ඩලයට, මහා සංගමයට හා අදාළ වෙනත් ආයතනවලට අවශ්ය මූල්ය වාර්තා හා තොරතුරු සැපයීමේ වගකීම ද, අභ්යන්තර විගණන කටයුතු පවත්වා ගැනීම ද, මුදල් වර්ෂය ඉකුත් වී දින 90ක් (දින අනූවක්) ඇතුළත වාර්ෂික විගණනය සම්පූර්ණ කර වාර්තා කිරීමේ වගකීම ද සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරියට පැවරේ. මූල්ය පුරෝකථනය, මූල්ය සැලසුම් සකස් කිරීම, ඉදිරි වර්ෂය සඳහා අයවැය ලේඛන සකස් කිරීම, ඒවා ක්රියාත්මක කිරීම හා ප්රගති පාලනය නොපිරිහෙලා ඉටු කිරීම සංගමයේ ගරු භාණ්ඩාගාරිකවරියගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ සිදු විය යුතුය.
21. විධායක සභා රැස්වීම්
- නොවැළැක්විය හැකි හේතුවක් නොමැති නම්, අවම වශයෙන් මාස 03කට වරක් විධායක සභාව රැස්විය යුතුය.
- විධායක සභාවේ ගණපූරණය ½කි (50%).
22. විධායක අධ්යක්ෂිකාව සඳහා සුදුසුකම්
- ආබාධ සහිත කාන්තාවක් විය යුතුය.
- අවම වශයෙන් අවුරුදු 07ක් හෝ ඊට වැඩි කාලයක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවය කර, එම ක්ෂේත්රය පිළිබඳ පළපුරුද්දක් තිබිය යුතුය.
- සංඥා භාෂාව පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
- විධායක සභාවේ සාමාජිකාවක් විය යුතුය.
- බාහිර ආයතන සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව තිබිය යුතුය.
- මෙම ක්ෂේත්රයේ ජාතික හා ජාත්යන්තර පිළිගැනීමකට ලක්ව තිබීම අමතර සුදුසුකමකි.
23. විධායක අධ්යක්ෂිකාවගේ බලතල
- ආයතනික පරිපාලනය.
- ආයතනයේ සියලු කටයුතු අධීක්ෂණය.
- මුදල් සම්බන්ධ වගකීම (අත්සන් කිරීම).
- හදිසි අවස්ථාවලදී ක්ෂණික තීරණ ගත හැකිය (විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව තාවකාලික තීරණ).
- සංගමය මගින් ක්රියාත්මක කරනු ලබන සෑම ව්යාපෘතියකම වගකීම, ක්රියාත්මක කිරීම හා අධීක්ෂණය විධායක අධ්යක්ෂිකාව සතුය.
- කලින් කලට අවශ්ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ බලතල හිමි වේ.
- සංගමය මගින් ක්රියාත්මක කරනු ලබන ව්යාපෘතිවල සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කිරීම.
24. විධායක අධ්යක්ෂිකාවගේ නිලය අවසන් වීම
- සංගමයේ දඬුවම් ලැබිය හැකි විනය විරෝධී ක්රියා නිසා.
- සිය කැමැත්තෙන් ඉවත් වීම.
25. භාරකාර මණ්ඩලය
- නිශ්චල හා චංචල දේපළ භාර ගැනීම, නිසි පරිදි පරිහරණය කිරීම හා විකුණා දැමීම සඳහා බලය සහිත භාරකාර මණ්ඩලයක් සිටිය යුතුය. එය මහා සභාව විසින් නම් කරන ලද 5 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. එහි සංයුතිය විධායක මණ්ඩලයේ තිදෙනෙකු, ආයතනික කළමනාකරණයේ අයෙකු හා බුද්ධි මණ්ඩලයේ අයෙකු වශයෙනි.
- නිශ්චල හා චංචල දේපළ විකුණා දැමීමේදී භාරකාර මණ්ඩලය විසින් විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුය.
26. මුදල්
- සංගමය වෙනුවෙන් රාජ්ය හෝ වාණිජ බැංකුවල ගිණුම් පවත්වා ගැනීමට විධායක මණ්ඩලයට හැකිය. එම ගිණුම් මෙහෙයවීමේ බලය ගරු සභාපති හා ලේකම් හෝ භාණ්ඩාගාරික තනතුරු දරන්නන් වෙත පැවරේ. චෙක්පත් නිකුත් කිරීමේදී පළමු අත්සන ගරු සභාපතිනියගේ ද, දෙවන අත්සන ගරු භාණ්ඩාගාරිකගේ හෝ ලේකම්ගේ ද විය යුතුය.
- සංගමය වෙනුවෙන් මුදල් රැස් කිරීමට හා වියදම් දැරීමට විධායක මණ්ඩලයේ එකඟතාවය ලබා ගත යුතුය. වියදම් දැරීම සහ මුදල් රැස් කිරීම සඳහා අනුමත කිරීම, පරීක්ෂා කිරීම හා සහතික කිරීම යන බලතල ගරු සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තිදෙනාට පැවරේ.
- ශ්රී ලංකාව තුළ ක්රියාත්මක වන පහත සඳහන් රාජ්ය හා පෞද්ගලික බැංකුවල මුදල් තැන්පත් කිරීමට ව්යවස්ථානුකූලව බලය පැවරේ: ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, කොමර්ෂල් බැංකුව.
- සංගමයේ අවශ්යතා අනුව පිළිගත් මූල්ය ආයතනවලින් ණය ගනුදෙනු කළ හැක.
- මූල්ය ආයතනවලින් ගනු ලබන ණය හෝ උගස් කළ දේපළ නිරවුල් කිරීම සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු දරන්නන් සිය නිල කාලය තුළ සිදු කළ යුතුය.
- යම් හෙයකින් සිය නිල කාලය තුළ එය සිදු කිරීමට නොහැකි වුවහොත්, නැවත පත්වන අනුප්රාප්තික නිලධාරීන් විසින් එහි වගකීම දැරිය යුතුය.
- මූල්ය ආයතනයකින් ණය ලබා ගැනීම සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තිදෙනාගේ එකඟතාවය හා අත්සන් යෙදීම මත කළ යුතුය.
27. මුදල් වර්ෂය
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ මුදල් වර්ෂය ජනවාරි මස පළමුවෙනිදායින් (1 වනදා) ආරම්භ වී එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ. එම මුදල් වර්ෂය ගිණුම් වාර්තා පිළියෙළ කිරීමට, ඉදිරි වැඩසටහන් පිළියෙළ කිරීමට හා වාර්ෂික ප්රගති සමාලෝචනයට වලංගු විය යුතුය.
28. උපදේශක තනතුර සඳහා සුදුසුකම්
- ස්ත්රී පුරුෂ භේදයක් නොමැත.
- ආබාධ සහිත පුද්ගලයන් හා එම ක්ෂේත්රය පිළිබඳ පුළුල් දැනුමක් ඇති අයෙකු වීම.
- ආබාධ සහිත පුද්ගලයන්ගේ, විශේෂයෙන් ආබාධ සහිත කාන්තාවන්ගේ අයිතීන් ලබා ගැනීමේදී ක්රියාකාරී පුද්ගලයෙකු ලෙස කටයුතු කර තිබීම.
- මනා ඉංග්රීසි දැනුමක් තිබිය යුතුය.
- පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධියක් ලබා තිබීම.
29. උපදේශකවරයාගේ කාර්යභාරය
- අනුග්රාහක ආයතන සමඟ සංගමය සම්බන්ධතා පවත්වන විට සහාය වීම.
- සංගමයේ පරිපාලන කටයුතුවලදී සහාය ලබා දීම සහ අවශ්ය අවස්ථාවලදී උපදෙස් ලබා දීම.
30. තනතුර අහෝසි වීම
- නීති විරෝධී ක්රියා හා සංගමයේ විනය විරෝධී ක්රියා සිදු කිරීම.
- සිය කැමැත්තෙන් ඉල්ලා අස් වීම.
31. මහා සභාව
- මහා සභාවට සහභාගී විය හැක්කේ ඍජු සාමාජිකයන්ට, ප්රතිලාභී සාමාජිකයන්ට, ආබාධ සහිත කාන්තාවන්ගේ භාරකරුවන්ට හා ආරාධිත අමුත්තන්ට පමණි.
- යෝජනා ස්ථිර කිරීම හා ඡන්දය භාවිත කිරීම ඍජු සාමාජිකයන්ට, ප්රාදේශීය සංවිධානවල විධායක මණ්ඩල සාමාජිකයන්ට හා ප්රතිලාභී සාමාජිකයන්ට පමණක් කළ හැකිය.
- තීරණ ගැනීමේ බලය ඍජු සාමාජිකයන් වෙත හිමි වේ.
- අවම වශයෙන් අවුරුදු 2කට වරක්වත් මහා සභාව රැස්විය යුතුය. මහා සභා රැස්වීමේදී මහා සංගමයේ විධායක මණ්ඩලය තෝරා ගත යුතුය.
- පසුගිය වසරවල ගිණුම් වාර්තා ඉදිරිපත් කර සම්මත කර ගැනීම හා එම වර්ෂවල ප්රගති වාර්තා ඉදිරිපත් කිරීම මහා සභා රැස්වීමේදී කළ යුතුය.
- විධායක මණ්ඩලය විසින් ගනු ලැබූ කිසියම් තීරණයක් ස්ථිර කිරීමට, අවලංගු කිරීමට, සංශෝධනය කිරීමට හා ඒ වෙනුවට වෙනත් තීරණයක් ගැනීමට මහා සභාවට හැකිය.
- මහා සභා රැස්වීම බල සහිත වීමට නම් මුළු සාමාජික සංඛ්යාවෙන් 1/3ක් හෝ සාමාජිකාවන් 30ක් හෝ සහභාගී විය යුතුය.
- ගණපූරණය නොමැති වීම නිසා යම් මහා සභා රැස්වීමකදී විධායක මණ්ඩලය පත් කර ගැනීමට නොහැකි වුවහොත්, මාසයක් ඇතුළත නැවත මහා සභාව කැඳවා විධායක මණ්ඩලය පත් කර ගත යුතුය. එතෙක් පැරණි විධායක මණ්ඩලයටම කටයුතු කළ හැක.
- මුළු සාමාජික සංඛ්යාවෙන් 1/3ක් විසින් අත්සන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මගින් මහා සභාව රැස් කරන ලෙස ගරු ලේකම්වරියට දැනුම් දුනහොත්, ලේකම්වරිය විසින් 20ක් ඇතුළත මහා සභාව රැස් කරවිය යුතුය. එවැනි ඉල්ලීමක් කළ බව තහවුරු කර ගැනීමට එකී සාමාජික පිරිසට අවශ්ය නම්, ලිපියේ සඳහන් දින සිට දින 07ක් ඇතුළත එම ඉල්ලීමේ පිටපතක් බුද්ධි මණ්ඩලයේ සාමාජිකයෙකු වෙත ඉදිරිපත් කළ හැකිය.
- සංගමයේ කටයුතු සඳහා උපදෙස් හා මඟ පෙන්වීම උදෙසා බුද්ධි මණ්ඩලයක් පත් කර ගැනීමටත්, බුද්ධි මණ්ඩලයේ සාමාජික සංඛ්යාව තීරණය කිරීමටත් මහා සභාවට බලය ඇත.
අතුරු ව්යවස්ථාව
මෙම සංගමයේ සාමාජිකත්වය දරන සියලුම ආකාරයේ සංවිධාන හා කුඩා කණ්ඩායම් සඳහා බල පැවැත්වෙන අතුරු ව්යවස්ථාව පහත ආකාරයෙන් පිළිගනු ලැබේ.1. කුඩා කණ්ඩායම්
භෞතික ලක්ෂණ- සාමාජිකයන් උපරිමය 10ක් වන අතර අවමය 05කි.
- නිතරම මුණ ගැසෙන හා මුණ ගැසීමට පහසු අය වීම.
- පුද්ගලික ගැටලු සාකච්ඡා කිරීමට හැකි අය වීම.
- එකිනෙකාට උදවු කර ගැනීමට හැකි අය වීම.
- මිත්රත්වය
- එකමුතුකම
- එකිනෙකා අතර විශ්වාසය
- අන්යෝන්ය සහයෝගය
2. නායකත්වය
- මාස 06කට වරක් නායකයෙකු පත් විය යුතුය.
3. සාමාජික වගකීම
- කණ්ඩායම තුළ සමගිය ආරක්ෂා කළ යුතුය.
- නායකත්වයට සහයෝගය ලබා දිය යුතුය.
- සාමාජික මුදල් නිසි පරිදි ගෙවිය යුතුය.
4. නායකත්ව වගකීම
- ග්රාමීය සංවිධානයට වගකිව යුතු වේ.
- සාමාජිකයන්ගේ ගැටලු නිතර සොයා බලා ග්රාමීය සංවිධානය දැනුවත් කළ යුතුය.
- අදාළ දිනවල කණ්ඩායම රැස් කර ගැටලු සාකච්ඡා කළ යුතුය.
5. ග්රාමීය සංවිධාන
සංයුතිය- කුඩා කණ්ඩායම් නායකයන්ගෙන් සමන්විත විය යුතුය.
6. සාමාජිකත්වය
- සියලුම කුඩා කණ්ඩායම් සාමාජිකයන්.
7. විශාලත්වය
- කුඩා කණ්ඩායම් 05 සිට 10 දක්වා.
8. නිලධාරීන්
- සභාපති, ලේකම්, භාණ්ඩාගාරික.
9. වගකීම්
සභාපති- සභාව මෙහෙයවයි.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය සමඟ ඍජු සම්බන්ධතා පවත්වයි.
- ග්රාමීය සංවිධාන නිතර සක්රියව තබා ගැනීමට කටයුතු කරයි.
- වාර්තා හා ලේඛන පවත්වාගෙන යා යුතුය.
- සභාපතිගේ අනුදැනුම ඇතිව ග්රාමීය සංවිධාන රැස්වීම් කැඳවිය යුතුය.
- සභාව කැඳවීමට දින 07කට පෙර ඒ බව ලිඛිතව සාමාජිකයන්ට දැනුම් දිය යුතුය.
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය සමඟ ඍජු සම්බන්ධතා පවත්වයි.
- මූල්ය කටයුතු සිදු කළ යුතුය.
- සාමාජික මුදල් රැස් කළ යුතුය.
- සිය ව්යාපාරික ප්රජාවගේ ව්යාපාර කටයුතු හා ව්යාපාරිකයන්ට ලබා දෙන ණය මුදල් කටයුතු අධීක්ෂණය කර මව් ආයතනය දැනුවත් කළ යුතුය.
10. ග්රාමීය සංවිධාන රැස්වීම්
- කුඩා කණ්ඩායම් තුළ සිය සාමාජිකයන්ට විසඳා ගැනීමට අපහසු ගැටලු සාකච්ඡා කරයි.
- අත්දැකීම් බෙදා ගැනීමට කටයුතු කරයි.
- කුඩා කණ්ඩායම් සහ ග්රාමීය සංවිධානය ශක්තිමත් කර ගැනීමට නිරන්තර ක්රියාමාර්ග සාකච්ඡා කළ යුතුය.
- ගැටලු නිරාකරණය කිරීමට අවශ්ය දැනුම ලබා ගත යුතුය.
11. රැස්වීම් පැවැත්වෙන දිනය
- සෑම මසකම අවසාන සතියේ සම්මත කර ගත් දිනක රැස්වීම පැවැත්වේ.
- එම දිනය පෙර සභා වාරයේදී තීරණය කළ යුතුය.
- අවශ්යතාවය පරිදි ආකාසය තීරණය කරන දිනක හදිසි මහා සභා රැස්වීම් කැඳවීමට ලේකම්ට හැකියාව ඇත.
12. ප්රාදේශීය සංවිධාන
- මෙම සංවිධානය ආකාසයට අනුබද්ධ ප්රාදේශීය සංවිධානයයි.
13. සංයුතිය
- ග්රාමීය සංවිධාන නිලධාරීන්.
14. සාමාජිකත්වය
- සියලුම කුඩා කණ්ඩායම් සාමාජිකයන්.
15. විශාලත්වය
- සියලුම ග්රාමීය සංවිධාන.
16. නිලධාරීන්
- සභාපති, ලේකම්, භාණ්ඩාගාරික.
17. කාරක සභාව
- අදාළ ප්රාදේශීය සංවිධානයේ බල ප්රදේශයට අයත් ග්රාම නිලධාරී වසම්වල නියෝජිතයන්.
18. නිල කාලය
- වසරකට වරක් නිලවරණය පැවැත්විය යුතුය.
19. වගකීම්
සභාපති- සභාව මෙහෙයවිය යුතුය.
- ප්රාදේශීය සංවිධාන, ග්රාමීය සංවිධාන හා කුඩා කණ්ඩායම් නිරන්තරයෙන් සක්රියව තබා ගැනීමට කටයුතු කළ යුතුය.
- කුඩා කණ්ඩායම් හා ග්රාමීය සංවිධාන ඇති කිරීමට ආකාසයේ සහාය ඇතිව කටයුතු කළ යුතුය.
- ආකාසය සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීම සඳහා කටයුතු කළ යුතුය.
- දිස්ත්රික් සංවිධානයට වගකීමෙන් බැඳී සිටිය යුතුය.
- වාර්තා හා ලේඛන නිසි පරිදි පවත්වාගෙන යා යුතුය.
- සභාපතිගේ අනුදැනුම ඇතිව සභාව කැඳවිය යුතුය.
- සභාව පැවැත්වීමට දින 07කට පෙර ඒ බව ලිඛිතව සාමාජිකයන්ට දැනුම් දිය යුතුය.
- කුඩා කණ්ඩායම් හා ග්රාමීය සංවිධාන බිහි කිරීමෙහිලා ආකාසයේ සහාය ගෙන කටයුතු කළ යුතුය.
- ආකාසය සමඟ ඍජු සම්බන්ධතා පැවැත්විය යුතුය.
- කුඩා කණ්ඩායම්වල සිට ග්රාමීය සංවිධාන හරහා සාමාජික මුදල් රැස් කර බැංකුගත කළ යුතුය.
- ආකාසය හරහා සාමාජිකයන් වෙත පිරිනැමෙන චක්රීය ණය ආධාර වැඩසටහනට සක්රියව දායක විය යුතුය.
- ප්රාදේශීය සංවිධාන අරමුදල ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතුය.
- ගිණුම් කටයුතු යාවත්කාලීනව පවත්වාගෙන යා යුතුය.
20. කාරක සභිකයන්
- කාරක සභිකයන් තමන් නියෝජනය කරන ග්රාම නිලධාරී වසම තුළ වෙසෙන ආබාධ සහිත පුද්ගලයන් සංවිධානය කළ යුතුය.
- කුඩා කණ්ඩායම් රැස්වීම් පිළිබඳව නිරන්තරයෙන් සොයා බලමින් ඒවා මෙහෙයවිය යුතුය.
21. ප්රාදේශීය සංවිධාන රැස්වීම්
- සෑම මසකම තීරණය කර ගත් දිනයක පැවැත්විය යුතුය.
- සාමාජික ගැටලු නිරාකරණයට අවශ්ය පියවර සාකච්ඡා කළ යුතුය.
- ග්රාමීය සංවිධාන සක්රියව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.
- සියලුම ක්රියාකාරකම් සජීවීකරණය සඳහා නව යෝජනා පිළිබඳ සාකච්ඡා කළ යුතුය.
22. මහා සභා රැස්වීම
- සෑම වසරකට වරක් පැවැත්විය යුතුය.
- අවශ්යතාවය අනුව ආකාසය තීරණය කරන දිනයක මහා සභාව කැඳවිය යුතුය.
23. අරමුදල
- අරමුදල “(ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම) ආබාධ සහිත කාන්තාවන්ගේ අරමුදල” යනුවෙන් හැඳින්වේ.
- බැංකු ගිණුම ආරම්භ කිරීමේදී ව්යවස්ථාවේ පිටපතක්, මව් සංවිධානයේ සභාපති, භාණ්ඩාගාරික හෝ ලේකම් යන අයගෙන් එක් අයෙකුගේ අත්සන, ප්රාදේශීය සංවිධානයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන තිදෙනාගේ ආදර්ශ අත්සන් හා සමිතියේ රබර් මුද්රාව ඉදිරිපත් කළ යුතුය.
- මුදල් ලබා ගැනීම, ප්රාදේශීය සංවිධානයේ භාණ්ඩාගාරික හා ලේකම් හෝ සභාපති යන දෙදෙනාගෙන් එක් අයෙකුගේ ද, මව් සංවිධානයේ නියෝජිතයාගේ ද අත්සනින් යුතුව කළ යුතුය.
24. මුදල් වර්ෂය
- මව් සංගමයේ මුදල් වර්ෂය පරිදි, ජනවාරි මස පළමුවෙනිදායින් ආරම්භ වී දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වේ. එම මුදල් වර්ෂය ගිණුම් වාර්තා පිළියෙළ කිරීමට, ඉදිරි වැඩසටහන් සකස් කිරීමට හා වාර්ෂික ප්රගති සමාලෝචනයට වලංගු විය යුතුය.